සිංහල බෞද්ධ කරන්දෙනිය හා ප්‍රාග්ධනය ගමට ඒම.

83057703



චන්ද්‍රිකා බණ්ඩාරනායක 1994 දී යූඑන්පියේ දාහත් වසරක සාපය අවසන් කරමින් ජනාධිපති වී සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළේ එල්ටීඊඊය හා සාකච්ඡාමය විසදුමකට ඒමට හොද හිත ඇතිකර ගැනීමේ පදනමක් ලෙසයි. ඉතා ටික කලක් පැවති ඒ හොද හිත ඇති කිරීමේ උත්සාහය පුපුරා ගියේ එල්ටීටීඊය විසින් ත්‍රිකුණාමළයේ දී නාවික බෝට්ටුවකට පහර දීමෙන්.

ඒ පහරදීමත් සමග දකුණේ ජනයා තුළ කේන්තිය වෙරය හා ක්‍රෝධය පුපුරා යෑම ඇරඹුණේ අලුත් වටයකින්. එදා ඇල්පිටිය බස් නැවතුම් පළේ දී මට හමුවූ මිත්‍රයකු කතා කළේ ද දකුණේ සිංහල බෞද්ධ කෝපයේ හරස් පැතිකඩක් නිරූපනය කරමින්.
” සිංහල බෞද්ධ රට මුං විනාශ කරනව.සටන් විරාමයක් කියල මගුලක් ගෙනහල්ල හැමදාම කොටිය ශක්තිමත් කරනව. දැන් පේනවනෙ ගෙනාපු සාමෙ. අපේ කොල්ලො ටික මැරෙන එක විතරයි”

මිත්‍රයගෙ කතාවට මා මද සිනහවක් පෑවෙ උපේක්ෂා සහගතව.

මිත්‍රයට කේන්ති ආව. “ඇයි සද්දෙ නැත්තෙ” ” මේ විනාස වෙන්නෙ සිංහල බෞද්ධ රට බං”

මම ටිකක් හිනා උනා. හිනා වෙල කිව්ව ” නෑ බං මේ විනාස වෙන්නෙ සිංහල බෞද්ධ ගොවිගම රට.” කියල.

මගේ මිතුරාගේ මුහුණ අදුරු උනා. ඇස් දෙක රතු උනා. කුල පීඩිතයෙක් වන මගේ මිතුරා ඉන් ඔබ්බට මුකුත් කිව්වෙ නෑ. හිත පෑරිච්ච මිනිහෙකුට තවදුරටත් මුකුත් කියන්න මා හිතුවෙත් නෑ. ඒත් මිතුරා යන්න ගියේ යමක් තේරුම් ගත් අයුරකින්.

ගාල්ල කියන්නෙ විවිධ කුල වලට අයත් ජන මිශ්‍රණයකින් යුත් දිස්ත්‍රික්කයක්. ගොවිගම, කරාව, සලාගම, වහම්පුර ආදී වශයෙන් ප්‍රධාන කුල වලට අමතරව තවත් කුල ගණනාවක් දිස්ත්‍රික්කය පුරාම විසිරී තියෙනවා. මුහුදු බඩ තීරයේ බලපිටිය, අම්බලන්ගොඩ, රත්ගම, ගාල්ල හා හබරාදූව කරාව,සලාගම හා වෙනත් කුලයන් නියෝජනය කරන අතර රට අභ්‍යන්තර ප්‍රදේශ වල සිටින්නේ ගොවිගම ජනතාවයි. ඒ අතුරින් කරන්දෙනිය වහම්පුර ජනයාගේ ප්‍රදේශයක්.81243348

කරන්දෙණිය ප්‍රදේශය හරහා යන එනවිටත් ඇල්පිටිය රජයේ රෝහලින් ලැබුණ ආරංචි අනුවත් ඒ දවස් වල ඇහැට කණට දකින්නට අහන්නට ලැබුනෙ ශෝකජනක සිද්ධීන්. එක්කෝ කුරුදු කැත්තෙන් කපල මරල, එහෙම නැත්නම් සිය දිවි නසා ගන්න ඇසිඩ් බීල, ඇළක ගගක පැනල, දබර කර ගැනීම්, කළකෝලාහල මෙකී නොකී කී විදිහට වාර්තා වුනේම ශෝකජනක හා සමාජීය වශයෙන් කනගාටුදායක සිද්ධීන්. ඒ වගේම ළමා මරණ, දුප්පත්කම, මන්දපෝෂණය, නිරක්තිය වැනි සමාජ නිර්ණායක සසදා බැලූ විට ගාල්ල දිස්ත්‍රික්කයෙන් නරක වාර්තා ලැබුනෙත් කරන්දෙණියෙන්.

කරන්දෙණිය මැතිවරණ බල ප්‍රදේශයේ ප්‍රධාන නගර දෙක වන්නේ ඌරගස්මන්හන්දිය හා මහේදණ්ඩයි. ඌරගස්මන්හන්දිය යම්තරමක භෞතික දියුණුවක් ලබා තිබුණ ද මේ මැතක් වනතුරුම මහේදණ්ඩ පැවතියේ පිළිකන්නක් පරිද්දෙන්. පොලීසිය, රෝහළ වැනි රාජ්‍ය සේවා සපයන ආයතනයන් හැරෙන්නට ආර්ථිකමය වශයෙන් වැදගත් වෙනත් කිසිම රාජ්‍ය ආයතනයක් කරන්දෙණියේ තිබුනේ නෑ. විදුලිය බල පහසුකම් ද බැංකු පහසුකම් ද කරන්දෙණියේ ජනතාවට ලැබුනේ නෑ.

1977 දී මැතිවරණ කොට්ඨාශ සීමා නීර්ණය කිරීමේ දී කරන්දෙණිය මැතිවරණ කොට්ඨාශය ඇති කළේ වහම්පුර ජනයා බහුතරයක් ජීවත් වූ ප්‍රදේශ එකට එක් කරමින්. ඉන් අනතුරුව පැවති 1977 මහා මැතිවරණයේ දී කරන්දෙණියේ මන්ත්‍රීවරයා බවට පත්වූ එක්සත් ජාතික පක්ෂයේ බන්දුල සේනාධීරට හෝ ඔහුගේ අකල් මරණයෙන් මන්ත්‍රී ධූරයට පත්වූ ඔහුගේ බිරිද දයා සේපාලී සේනාධීරට හෝ කරන්දෙණියේ සමාජ ප්‍රශ්න වලට විසදුමක් තිබුණේ නෑ. 1988 දකුණු පළාත් සභා මැතිවරණයෙන් ද 1989 පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් ද කිසිම පක්ෂයක් නියෝජනය කරමින් කරන්දෙණියෙන් මහජන නියෝජිතයකු තේරී පත් නොවීම මේ සමාජ ගැටළු තව තවත් ත්‍රීව්‍ර කළා.

hon-mp-rese

මේ තත්වය තුළ විපක්ෂයේ දේශපාලන කටයුතු පමණක් නොව පාලක යූඑන්පීයේ දේශපාලන කටයුතු ද කරන්දෙණිය ප්‍රදේශයේ පැවතියේ මහත් අර්බූදයකයි. 1989 සිට එක්සත් ජාතික පක්ෂ කරන්දෙණිය සංවිධායක වූ ජයන්ත ජයවීරට වඩා ආකර්ශනීය නායකත්වයක් ප්‍රදේශයට ලැබුණේ ගුණරත් වීරකෝන්ගෙන්. ජයන්ත වැඩි කලබලයක් නොමැති සන්සුන් පුද්ගලයකු වූ අතර වීරකෝන් කට සැර ක්‍රියාකාරී ගැම්මකින් යුතු අයෙක්. ජයන්තගේ නිවුණු ස්වරූපයට වඩා වීරකෝන්ගේ නොදැමුණු ස්වරයට ලැබුනේ ලොකු ආකර්ශනයක්. 1992 වනවිට යූඑන්පී විරෝධී දේශපාලනය මේ හැම ප්‍රදේශයකම තිබුණේ මෝදු වෙමින්. ඒ වනවිට ඇල්පිටිය ආනන්ද මහා විද්‍යාලයේ දේශපාලන විද්‍යා ආචාර්යවරයා වූ ගුණරත්න වීරකෝන් කරන්දෙණිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ලෙස පත් වුණා. වහම්පුර ජනතාවගේ බහුතරය රැදුන කරන්දෙණියට ගුණරත්න වීරකෝන්ගේ නායකත්වය ලබාදුන්නේ ලොකු ගැම්මක්.ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයේ ඔහු ගුරුවරයකු ලෙස සේවය කිරීමෙන් ද ලැබූ පෞර්ශ්වය ඇල්පිටිය ප්‍රදේශයේ සමාජ පදනමක් ගොඩ නගා ගැනීම සදහා වීරකෝන්ට ලබාදුන්නේ ලොකු හයියක්. එමෙන්ම ඒ වනවිටත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ බෙන්තර ඇල්පිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක නොයෙල් පත්මසිරි කාරියවසම්ව ඇල්පිටියේ ජනතාව විසින් පිළිකුල් කිරීමත් වීරකෝන්ට ලබාදුන්නේ ගැම්මක්. ඒ අනුව 1993 දකුණු පළාත් සභා මැතිවරණයෙන් පරාජිත වුවත් 1994 දකුණු පළාත් සභා මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ගුණරත්න වීරකෝන් පළාත් අමාත්‍ය ධූරයක් ද ලබා ගත්තා.

කරන්දෙණිය මැතිවරණ බල ප්‍රදේශය සාපේක්ෂව කුඩා ප්‍රදේශයක්. බෙන්තර ඇල්පිටිය, බද්දේගම, හිනිදුම වැනි විශාල ඡන්දදායක පිරිසක් ජීවත් වන මැතිවරණ බල ප්‍රදේශයන්ට සාපේක්ෂව කරන්දෙණියේ ඡන්දදායක පිරිස අඩුයි. ඒ නිසා කරන්දෙණියේ වහම්පුර ජනතාවගේ ඡන්ද වලින් පමණක් පාලිමේන්තු යෑමට හෝ පළාත් සභාවට යෑමට හෝ බෑ. ගුණරත්න වීරකෝන්ට පළාත් සභාවට යෑමට අවශ්‍ය අඩු ඡන්ද ප්‍රමාණය ලබා ගත්තේ බෙන්තර ඇල්පිටියෙන්.

එහෙත් ගුණරත්න වීරකෝන්ගෙ දේශපාලනයට කුල සාධකය බලපෑම් කරන්නට වැඩි කල් ගියේ නෑ. කුලය අභිබවා දේශපාලනයක යෙදීමට ඔහුට අවශ්‍ය වුවත් තම ආධාරකරුවන්ගේ නොදියුණු ආකල්ප ඊට බාධා කළා. “අපේ උන්ට සලකන්නෙ නැතිව ගොවිගම උන්ට සලකන්නෙ ඇයි” යන ප්‍රශ්නය හමුවේ ගුණරත්න වීරකෝන් මුහුණ දුන්නේ ලොකු අභියෝගයකටයි. 1993/94 වකවානුවේ ඇල්පිටියේ ජනතාව සමග ඔහු ගොඩ නගා ගත් සම්බන්ධතා ක්‍රමයෙන් බිද වැටීමට වැඩි කල් ගියේ නෑ. එසේම කාරියවසම්ලා වෙනුවට ඇල්පිටියේ ජනතාවට විකල්පයක් ලැබීමත් මේ සබදතාව බිද වැටීම තීව්‍ර කළා.

තමන්ට අහිමිවන ඡන්ද පදනම හමුවේ තම බල පදනම් අලුතින් ගොඩ නගා ගැනීමට තරම් ගුණරත් වීරකෝන් දක්ෂයකු වීම ඇත්තටම අගය කළ යුත්තක්. ඇල්පිටියෙන් ඔහුට අහිමි වූ ගොවිගම ඡන්ද වෙනුවට අම්බලන්ගොඩ, රත්ගම හා බලපිටිය ප්‍රදේශයන්හි කරාව හා සලාගම ඡන්ද පදනම් ඔහු විසින් තහවුරු කර ගත්තේ තමා දැරූ පළාත් ධීවර ඇමති ධූරයේ ශක්තියෙන්. 1999 දී නැවතත් පළාත් සභා මැතිවරණයේ දී මෙන්ම 2004, 2010 පාර්ලිමේන්තු මහා මැතිවරණයන්ගෙන් ද ගුණරත්න වීරකෝන් ජයග්‍රහණය කළේ එසේ ගොඩ නගා ගත් ඡන්ද පදනම් වලින්. රාජපක්ෂ රෙජීමය තුළ කැබිනට් අමාත්‍ය ධූරයකට ජනාධිපති මහින්ද විසින් ඔහුව ඔසවා තබන්නේත් දෙදෙනා අතර ඉපැරණි මිත්‍රත්වයක ප්‍රතිඵලයක් ලෙසින්.

1994 දී පළාත් අමාත්‍යවරයකු ලෙස කරන්දෙණිය සංවර්ධනය කිරීමට මූලික වූ ගුණරත්න වීරකෝන් ඉඩම් බෙදා දීම, නිවාස සාදාදීම, රැකියා සැපයීම වැනි සම්ප්‍රදායී මහජන නියෝජිතයකුගේ කාර්යභාරය ඉටු කිරීමෙන් ලබා ගත්තේ ලොකු සාර්ථකත්වයක්. ඒ අනුව නිවාස 1000 ක් ඉක්මවන ගම්මාන දෙක තුනක්ම අලුතින් ඇති කළ අතර මහා මාර්ග, ක්‍රීඩාංගන වැනි යටිතල පහසුකම් ද පාසැල් පද්ධති හා පාළම් ආදිය ද ඉදිකරමින් කලක් පිළිකන්නක් බවට පත්ව තිබූ කරන්දෙණිය ප්‍රදේශය භෞතික වශයෙන් ඔසොවා තැබූවේ ලොකු උසකින්.

ඒ භෞතික සංවර්ධනය ජන ජීවිතයට ද ලොකු ගැම්මක් ලබාදුන් නිසාදෝ සමාජ තත්ත්වයේ එදා තිබූ පිරිහීම අද වනවිට සෑහෙන දුරකින් අවම මට්ටමකට ඇද වැටී අවසන්. නව ලිබරල් ආර්ථිකය නිසා ඇතිවන ඇති නැති පරතරය හා වෙනත් සමාජ ගැටළු සම්බන්ධයෙන් කරන්දෙණියත් පවතින්නේ අනෙක් ප්‍රදේශ හා සම මට්ටමක යන්න සත්‍යයක්. ඒත් කුල පීඩනය නිසා සමාජයේ පිළිකන්නක් බවට පත්ව තිබූ කරන්දෙණියට අලුත් ආලෝකයක් ලැබී ඇති බව සැගවිය නොහැක්කක්. සාපේක්ෂව බැලූ විට එදා කරන්දෙණියෙන් වාර්තා වූ මනුෂ්‍ය ඝාතන, සිය දිවි නසා ගැනීම් හා ඒවා සිදු කර ගැනීමේ දී යොදා ගත් අති අමානුෂික උපක්‍රම දැන් වාර්තා නොවන තරම්.

1977 දී තිබූ සමාජ වටපිටාව හා සංසන්දනාත්මකව බැලූ විට යම් ඉහළ මට්ටමක කරන්දෙණියේ ජන ජීවිතය පවතින්නේ වැදගත් සාධක දෙකක් මත යැයි පවසන්නට පුලුවන්. 1978 දී ලෝකයට ශ්‍රී ලංකාව නිරාවරණය වීමත් සමග ගලා ආ ප්‍රාග්ධනය ඊට එක් හේතුවක්. කුල සාධකය මත පදනම් වෙමින් සම්ප්‍රදායිකව කරගෙන ආ කුරුදු නිෂ්පාදනයට ඉහළ වටිනාකමක් ලැබීමත් ලෝක වෙළෙද පළේ විවෘත වූ රැකියා අවස්ථා තුළ කරන්දෙණියේ රැකියා වියුක්තිය අඩු වීමත් මේ ප්‍රදේශයේ ආර්ථිකයට ලොකු අස්වැසිල්ලක්. එසේ ගලා ආ විදේශ විනිමය නිසා කරන්දෙණියේ ආර්ථිකය ලැබුවේ ලොකු ජවයක්. ඒ නිසා කාලයක් පුරා මුළුගැන්වී තිබූ කරන්දෙනිය ආර්ථිකමය ලෙස ලැබූවේ ප්‍රබෝධයක්.

ගුණරත්න වීරකෝන් අමාත්‍යවරයකු ලෙස මැදිහත් වී රාජ්‍ය ප්‍රාග්ධනය කරන්දෙණිය කරා ගලා ඒමට සැලස්වීමත් අමතක කළ නොහැක්කක්. විවිධ සංවර්ධන ව්‍යාපෘතීන් මගින් වාර්ෂිකව විශාල මුදලක් පොම්ප කිරීම ප්‍රදේශීය සංවර්ධනයේ දී වැදගත් සාධකයක්. මහජන නියෝජිතයකු නොමැතිවම කාලයක් පුරා පසෙකට වී තිබූ කරන්දෙණියට එසේ රාජ්‍ය ප්‍රාග්ධනය ගලා ඒම භෞතික සංවර්ධනයේ ලා සපයන්නේ ප්‍රබල දායකත්වයක්. එසේ රාජ්‍ය ප්‍රාග්ධනය කරන්දෙනිය කරා ගෙන ඒමේදී පැවති විවිධ බාධා ජය ගැනීමට ගුණරත්න වීරකෝන් සතුව තිබූ නොදැමුනු ස්වරය ද එක් සාධකයක්. වරක් රාජ්‍ය ආයතනයකට අයත් ඉඩම් මහජනතාවට බෙදාදීමේ දී අනුගනය කළ අනීතික ක්‍රමවේදයට බාධා කළ රාජ්‍ය නිලධාරියා නිහඩ කළේ ඔහුගේ හිසට පිස්තෝලයක් තැබීමෙනුයි. ඒ අනීතික හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රමය ද කරන්දෙණියේ සංවර්ධනයේ එක් පදනමක්.

ගෝලීය ප්‍රාග්ධනය හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජ වටිනාකම් නොතකා හැරීම ප්‍රබල සමාජ ගැටළු ඇති කළත් කරන්දෙනියේ වත්මන් ප්‍රබෝධයට ඒ සාධක දෙක විසින්ම දැරුවේ ලොකු අත්වැලක්. ගෝලීය ප්‍රාග්ධනය කරන්දෙණියේ අස්සක් මුල්ලක් නෑර ගලා ගිය නිසා වැඩවසම් කුල සාධකය අවලංගු කරමින් ආර්ථික වශයෙන් ශක්තිමත් පුරවැසියන් ලෙස සමාජය ඉදිරියේ අභිමානයෙන් නැගී සිටීම සදහා එහි ජනතාවට ලැබී ඇත්තේ ලොකු අවස්ථාවක්. එසේම වෙනස් නොවූ රාජ්‍ය පාලන ක්‍රමවේද වෙනස් කරමින් තීරණ ගැනීමේ ලා ජනතාවට වාසි සහගත ලෙස ක්ෂණික පෙළබීමක් ඇති කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රියාමාර්ග හා ආකල්ප මගින් ලබා දී ඇති ශක්තිය ද නොතකා හැරිය නොහැක්කක්.

යුග ගණනාවක් පුරා කරන්දෙනියේ ජනතාව පීඩනයට පත් කළ කුල සාධකය යම් තරමකින් හෝ අවලංගු කිරීමට ප්‍රාග්ධනය දරා ඇති වෙහෙස අපමණ වුවත් සංවර්ධනය සදහා ප්‍රජාතන්ත්‍රවාදී සමාජ වටිනාකම් නොතකා හැරීම සමාජයේ බරපතල බිද වැටීමක්.

ඉගල් කන්ද, නොමිලයේ වයි ෆයි හා දැනුම් සංස්කෘතියක්

z_bus800
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගිය 11 වැනිදා ඇල්පිටිය නගරයට පැමිණියේ නව ආණ්ඩුවේ මැතිවරණ පොරුන්දුවක් වූ නොමිලයේ අන්තර් ජාල වයි ෆයි පහසුකම් බස්නැවතුම් පළ පරිශ්‍රයට ලබාදීමේ අරමුණෙන්. වැසිකිළි දුගද හමන අනවරත පිරිසිදු කිරීම් වලට ලක් නොවන අම්බලමක් බදු ඇල්පිටිය නගරයේ බස් නැවතුම් පළට අන්තර් ජාල වයි ෆයි පහසුකම් ලබාදෙන ආරංචිය ඇත්තටම හාස්‍යයක්. ඒත් යටිතලයේ පවතින නොගැලපීම මගින් අන්තර්ජාල පහසුකම් මගින් නගරයේ ඇතිවිය හැකි සංස්කෘතික දියුණුව නොතකා හරින්න බැහැ.

ෂඩ් භාෂා පරමේශ්වර යැයි විරුදාවලිය ලත් තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන් තම ජීවිතයේ අවසන් කාලයේ රැදී සිටියා යැයි කියවෙන්නේ ඇල්පිටියේ අම්බන ඉදුරුගිරි නම් ලෙනකයි. ඒ ක්‍රි.ව. 1491 වර්ෂයේ බවයි ඉතිහාසය පවසන්නේ. ඒත් ඒ ආශ්‍රයෙන් හෝ රාහුල හාමුදුරුවන් විසින් එක් රැස් කළ දැනුම් පද්ධතිය මගින් හෝ ගොඩනැංවූ සංස්කෘතික වටිනාකමක් ඒ ප්‍රදේශයේ නැහැ. ඊට අමතරව මෑත ඉතිහාසය හාරා ඇවිස්සූ විට ද දැනුම පරිශීලනය කරමින් සමාජය උස් තැනක රැදවීමට ගත් මිනිස් උත්සාහයන් මත ගොඩනැංවූ සංස්කෘතික වටිනාකමක් ගැන ඇල්පිටියෙන් අහන්න ලැබෙන්නේ නැහැ.

නමුත් ඇල්පිටියට නුදුරු අම්බලන්ගොඩ හා බද්දේගම යන ප්‍රදේශයන් සමාජ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සිටින්නේ බොහෝ ඉදිරියෙන්. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් ඇති වූ බද්දේගමවාදය සුළුවෙන් තකන්නට බැරි දැනුම් හුවමාරුවක්. එය ආගම්වාදය මත පදනම් වුවත් නව දැනුම නිෂ්පාදනයේ ලා සමාජයට ලබා දුන් දායකත්වය අගය කළ යුත්තක්. බද්දේගමට මෙන්ම අම්බලන්ගොඩටත් ආවේනික වාමාංශික දේශපාලන ක්‍රියාකාරීත්වය මගින් ද ඇති කර තිබෙන සමාජ ප්‍රබෝධය දැනුම කේන්ද්‍රකොට ගත්තක්. ඒ නිසා ආර්ථික ක්‍රියාකාරීත්වයටම ජීවිතය සීමා නොකර දැනුම යොදා ගනිමින් බුද්ධිමය වටිනාකමක් ලබා ගැනීමට දැරූ මහන්සිය අපමණයි.

බද්දේගම හා අම්බලන්ගොඩ වැනි ප්‍රදේශවල බුද්ධිමය වටිනාකමක් තහවුරු වීමට ඒ ප්‍රදේශවල පිහිටි අධ්‍යාපනික මධ්‍යස්ථාන දරා ඇත්තේ ලොකු දායකත්වයක්. 19 වන සියවසේ ඇති වූ ජාතිකත්ව ප්‍රබෝධයත් ඒ ආශ්‍රිතව ආර්ථික වශයෙන් ශක්තිමත් ප්‍රභූ පවුල් ඇතිවීමත් මේ සංස්කෘතික ප්‍රබෝධයට ප්‍රබල හේතුවක්. එමෙන්ම සිංහල බෞද්ධ ගොවිගම හා එකට මුසු වෙමින් ක්‍රිස්තියානි, කරාව, දුරාව හා සලාගම ජන කොටස්වල දායකත්වයෙන් සංස්කෘතික මිශ්‍රණයක් ඇතිවීම ද මේ ප්‍රබෝධයට ප්‍රබල හේතුවක්.

ඇල්පිටිය මෑත ඉතිහාසය තුළ කෘෂිකාර්මික ජනකොටසකගේ වාස භූමිය වූවා මිස 19 වන සියවසේ ඇති වූ ජාතිකත්ව ප්‍රබෝධය හා ඒ ආශ්‍රිත ආර්ථික වශයෙන් ශක්තිමත් ප්‍රභූ පවුල්වල ක්‍රියාකාරීත්වයෙන් උණුසුම් වුනේ නැහැ. මේ ප්‍රදේශයේ ඉඩම් බොහෝ විට බලපිටිය හා අම්බලන්ගොඩ ප්‍රදේශවල මුදල් බලය හිමි ප්‍රභූ පවුල්වල ගහනයට නතුව තිබුණා. ඒ නිසා ජීවත්වීමට එදිනෙදා යමක් සොයා ගත් ජීවන අරගලයෙන් ඔබ්බට වූ සමාජ ක්‍රියාකාරීත්වයක් ඇල්පිටියේ ප්‍රදේශවාසීන්ට තිබී නැහැ. ඒ නිසා අධ්‍යාපන මධ්‍යස්ථාන ගොඩනැංවීමටත් යොමු වී නැහැ. එවැනි වටපිටාවක දැනුම මූලික වූ සංස්කෘතික සමාජ වටිනාකමක් බිහි නොවීම පුදුමයට කරුණක් නෙවෙයි.

91901033

ඇල්පිටිය නගරයට ආසන්න ඉගල් කන්ද වත්ත අසූව දශකයේ අවසන් භාගය තෙක් පැවතුනේ රජයට අයත් සශ්‍රීක රබර් වගාවක් ලෙසින්. ඒ ඉගල් කන්ද එතරම් උස් නොවූ පොඩි කදු තීරුවක්. ඒ කන්දේ බටහිර කෙළවරෙහි පිහිටි සාමාන්‍ය ප්‍රමාණයේ කළු ගල ඇල්පිටියේ අනන්‍යතාවයේ සංකේතයක් බව බොහෝදෙනෙක් දන්නේ නැහැ. මා කුඩා කල රාත්‍රියට මේ කළු ගල පිහිටි ඉගල් කන්ද දෙස බලා සිටින්නේ නොඉවසිල්ලෙන්. රාත්‍රී හත අට පමණ වනවිට අන්ධකාරයට ගොස් ඇස හුරුවන තුරු බලා සිටින විට ක්ෂණිකයෙන් නොපෙනී යන විදුලි ආලෝකයකින් කන්ද මුදුන ආශ්‍රිත අහසට යම් එළියක් වැටෙන බව හදුනා ගන්නට පුළුවන්. ඒ බේරුවල ලයිට් හවුස් එකේ කැරකෙන එළිය බව අත්දැකීම් ඇති වැඩිහිටියකුගේ අදහස වුනා. යම් නිශ්චිත කාල වකවානුවක් තුළ සිදුවන ආලෝකකරණය නිසා එය බේරුවල ලයිට් හවුස් එකේ කැරකෙන විදුලි පහනම යැයි තහවුරු වුනා.

මීට සියවස් කාලයකට පෙර සන්නිවේදන මාර්ග අද තරම් දියුණු නොවූ කාලයක පණිවුඩ හුවමාරු කර ගත්තේ ඊ තල ආධාරයෙන්. ජනප්‍රවාදය පවසන පරිදි එක් උස් භූමියක පිහිටි සන්නිවේදන මධ්‍යස්ථානයක සිට යවන ඊ තලයක රැදවූ පණිවුඩය සදහන් ලියවිල්ල ඊළග උස් භූමියේ වූ සන්නිවේදන මධ්‍යස්ථානය මගින් ලබා ගන්නවා. මේ උපක්‍රමය මගින් අවශ්‍ය ඉලක්කය කරා පණිවුඩය යැවීමට සන්නිවේදන මධ්‍යස්ථාන කිහිපයක දායකත්වය ලබා ගන්නවා. එවැනි එක් සන්නිවේදන මධ්‍යස්ථානයක් වූයේ ඉගල්කන්දේ කළු ගලයි.

ඊතල හුවමාරුවෙන් පණිවුඩ යැවූ ඒ ගල, ඊ ගල ලෙස හදුන්වා පසුව එය ඉගල වූ බවයි ජනප්‍රවාදය තහවුරු කරන අදහස. ඒ අන්දමින් ව්‍යුත්පන්න වූ ඉගල යන නාමය ඇල්පිටිය නගරය හැදින්වීමට කලකට පෙර භාවිතා වී තිබෙනවා. 80 දශකයේ ආරම්භයේ දී පවා පැරැන්නන් ඇල්පිටිය හැදින්වූයේ ඉගල හන්දිය ලෙසයි. අද පවා ඇල්පිටිය විවිධ සේවා සමූපකාර සමිතියට අයත් ඇල්පිටිය නගරයේ ප්‍රාදේශීකය හදුන්වන්නේ ඉගල ප්‍රාදේශිකය ලෙසින්.

ක්‍රි.ව. 1220 සිට 1345 දක්වා පැවැති දඹදෙණිය යුගය තුළ විශිෂ්ඨ රාජ්‍ය පාලකයා වන්නේ දෙවැනි පරාක්‍රමබාහුයි. ක්‍රි.ව. 1236 සිට 1270 තෙක් දඹදෙණිය මූලික කර ගෙන රාජ්‍යය පවත්වාගෙන ගිය දෙවන පරාක්‍රමබාහු කවියෙක් හා ලේඛකයෙක් ලෙස සාහිත්‍යයට අපමණ දායකත්වයක් දැරූවෙක්. ඒ යුගය තුළ ඇල්පිටිය ද අයත් දකුණේ ප්‍රාදේශීය පාලකයා වී ඇත්තේ දේවපතිරාජ නම් වූ අමාත්‍යවරයෙක්. ඇල්පිටියේ ඉගල් කන්ද සන්නිවේදන මධ්‍යස්ථානයක් ලෙස තහවුරු වී ඇත්තේ මේ යුගය තුළ බවයි ඉතිහාසය පවසන්නේ.

1985 වන තුරුත් ඝෘජු දුරකථන පහසුකම් නොතිබූ ඇල්පිටියට රැහැන් රහිත ප්‍රථම දුරකථන ජාල පහසුකම් ලැබෙන්නේ 2003 වර්ෂයේ දී යි. ඒ අනුව ඇල්පිටියට රැහැන් රහිත දුරකථන පහසුකම් සැපයීමට ඩයලොග් දුරකථන කුළුණ පිහිටුවන්නේත් ඉගල් කන්දේ වීම සන්නිවේදන සංස්කෘතියට අදාළව එතිහාසික කරුණක්. ඉතිහාසයේ ඊ තල ආධාරයෙන් සන්නිවේදනය සදහා මූලික වූ ඉගල් කන්දේම වර්තමානයේ රැහැන් රහිත දුරකථන පහසුකම් සදහා කුළුණ ඉදිවීම “වෙළෙද පළ ප්‍රචාරය” තුළ නැවුම් කරුණක් වුවත් ඩයලොග් ආයතනය එම කරුණ වෙළෙද පළ ප්‍රචාරණයට යොදා නොගත්තේ ඉතිහාස පුරාවෘත්තය නොදැන සිටි නිසා වෙන්නට පුළුවන්.

නගරයේ සිට කිලෝමීටරයක් ඉක්මවන සැනින් අන්තර් ජාල පහසුකම් අඩපණ වුනත් මේ වනවිට ඇල්පිටිය ප්‍රදේශය දුරකථන ජාල ගණනාවක් මගින් ලෝකය හා බැදී තිබීම සතුටට කරුණක්. ඊයේ පෙරේදා අන්තර් ජාල වයි ෆයි පහසුකම් නොමිලයේ ලැබීමත් වැදගත් වන්නේ ඒ අරමුණෙන්. සන්නිවේදන පහසුකම් දියුණුවීම හුදු පෞද්ගලික අවශ්‍යතා ඉෂ්ඨ කරන්නක් පමණක් නෙවෙයි. ඒ නිසා විශාල දැනුම් පද්ධතියකට දොරගුළු විවිර වීම අතිශයෙන් වැදගත්. වැසිකිළි ගද සිසාරා යන එදිනෙදා පිරිසිදු කිරීම් පවා නොකරන පාළු අම්බලමක් වැනි ඇල්පිටිය බස් නැවතුම් පළ ඒ සියළු බාධා මැද වුවත් දැනුම් මධ්‍යස්ථානයක් වීම කෙතරම් නම් අරුමයක් ද?

ඇල්පිටිය ප්‍රදේශය බුද්ධිමය තෝතැන්නක් නොවීමට ආර්ථිකමය වශයෙන් ශක්තිමත් මැද පන්තියක් නොවීම එක් හේතුවක්. රජයේ පාසැල් පද්ධතිය දැනුම නිෂ්පාදනය කරන හා බුද්ධිමත් ප්‍රජාවක් බිහි කරන ආයතන ලෙස ස්ථාපනය වී නැහැ. ප්‍රාදේශීය සභාව විසින් පාලනය කරන එකම දුප්පත් පුස්තකාලයට අතිරේක වශයෙන් 1985 දී මහපොල ඥාණ ප්‍රදීප පුස්තකාලය ඇති කළත් වසර තිහක ඇවෑමෙන් පසුව හෝ දැනුමේ කේන්ද්‍රස්ථාන ලෙස ඒවා ස්ථාපනය වී නැහැ.

free-wifi

සම්ප්‍රදායික දැනුම් මධ්‍යස්ථාන අහෝසි වීම පසු නූතන ලක්ෂණයක් වන අතර අන්තර්ජාල වැනි විකල්ප දැනුම් පද්ධති මගින් සමාජය තුළ ආලෝලනයක් ඇතිවීම බලාපොරුත්තු විය යුත්තක්. ස්මාර්ට් ෆෝන්, ලැප්ටොප් හා ටැබ් වැනි නව මාධ්‍ය උපකරණ මගින් අන්තර් ජාල ගත වීම ඇල්පිටිය නගරය තුළ මේ වනතුරුත් සංස්කෘතියක් ලෙස තහවුරු නොවූවක්. ඒත් නොමිලයේ වයි ෆයි ලබාදීමත් සමග හිතා ගන්නටත් බැරි තරම් වයස් කාණ්ඩ වල ජනයා ස්මාර්ට් ෆෝන් මගින් අන්තර් ජාලයේ සැරිසරන අයුරු දැක අවුරුදු නිවාඩුවට ගමට ගිය මට ඇති කළේ ලොකු සතුටක්.

හුදු විනෝදයම ඉක්මවා අන්තර් ජාලයේ දැනුම් පද්ධතිය උකහා ගැනීමට තරම් ශක්තිමත් සංස්කෘතියක් ඇල්පිටියෙත් බිහි වුනොත් යුග ගණනාවක මිනිස් ක්‍රියාකාරකම් දෙස උපේක්ෂාවෙන් බලා සිටින ඉගල් කන්දටත් එය සතුටට හේතුවක් වෙනවා නො අනුමානයි.

ඉගල හංදිය

91900987

“මම මේ ඉගල හංදියට යනව. සමාගං කඩෙන් බඩු ටික අරන් එන්න”

චීත්තයක් හා හැට්ටයක් ඇදි, මල්ලක් අතින් ගත් කාන්තාවක් ඇල්පිටිය පැත්තට යමින් තමන්ට මුණ හැගුණ තවත් කාන්තාවකට එසේ පවසනවා මට ඇහුණේ අතොරක් නැතිව පාර දෙස බලාගෙන සිටි අතරතුරේ දී ය. “ඉගල හංදිය” යන්නත් “සමාගම් කඩේ” යන්නත් ඒ වනවිටත් මගේ වචන මාලාවට එක්ව නොතිබුණි. හිස් අහස් කුස සිසාරා ගිය මගේ දෙනෙත වෙල් යායට ඔබ්බෙන් ඒ හිස් අහස සිඹින ඉගල් කන්ද මත නතර වුණි.

“ඉගල හංදිය” ගැනත් “සමාගම් කඩය” ගැනත් අහන්නට අම්මා ගෙදර නැත.

එහෙත් පසු අවස්ථාවක ඉගල හන්දියේ සමාගම් කඩය ගැන පමණක් නොව බොහෝ දෑ අම්මා මට කියා දුන්නා ය. පසුව රට තොට ගැන කියවන්නටත් විස්තර විමසන්නටත් වූ පසු තවත් බොහෝ දෑ ඒ ගැන සොයා ගත්තෙමි. කරදඩු උස් මහත් වී රට පුරා යන එන කල “ගම කොහේදැයි ඇසූ විට “ඇල්පිටියේ” යැයි කියූවත් බොහෝ දෙනෙක් එය තේරුම් ගත්තේ “බෙන්තර ඇල්පිටියෙ” යැයි ඇහි බැමි මදක් උස් කර පෙරලා විමසීමෙන් පසුව ය.

මෙලොව එළිය දැක උස් මහත් වූ ඒ ඇල්පිටිය ගැනත් ඒ තුළින් ලෝකයා ගැනත් මා ඇසූ දුටු දෑ අද සිට මෙහි සටහන් කරන්නෙමි.